Friday, April 20, 2012

විවාහකයාගේ ප්‍රේමය...

නෙතු පියන් අතර රැදවුණු
කිසිදා නෙතගින් නොමිදුණු
ඔබ නමට තවම
කවි මල් සුපිපෙයි
නොලීවාට පෙර මෙන්
සුදු සුමුදු සුවඳ කොළ මත
අහිතක් හිතන්න එපා
ආදරය තවම තරුණයි...
බලාන
පුංචි පුතා ඇහැරෙයි...

Wednesday, April 18, 2012

කඳුළු මලක්

නො පිබිදුණු මලකි මම
විකිණුනු,
කාසි මල් වසන්තයක
පිපෙන්නට...
පාට විතරක් පැතූ බමරුන්
තලා පෙලමින්
සුවඳ ඉල්ලන...
පෙම් පිරූ උයන අහිමිව
සුවඳ දී කාටවත් කුමට...

Friday, July 16, 2010

ප්‍රේමය තරුණයි

සංසාරය තව දුරයි
නමුත් දිවිය සුන්දරයි
මේ වාගෙම හැමදාමත්
අපි අපි ළඟ ඉන්නවනම්
නිවනත් එයමැයි සිතෙයි...

Wednesday, July 14, 2010

අහසින් පොළොවට



ඉහලට ඉහලට
ඉහලට යන පටි
මෝස්තරයට
පහලින් පහලින්
කකුල වටා
එතෙනා වැරහැලි සවියට...

මේ සෙරෙප්පුව
හරියටම හරි
කෙලීගෙ කකුලට.
තව එකක්
ඕනැලු
පොඩි එකාටත්...
කෝ...
අඩු ගානෙ,
තව
එක
හිස්
බෝතලයක්...

Tuesday, June 8, 2010

බඩජාරි කමට නෙමෙයි.....




ඔන්න ඔය ටිකත්
දීලම යන්න
මහත්තයා.
මොන තරම් දේවල්
දුන්නත් ජීවිතය
නෑ කිසිම දෙයක්
දුන්නේ බඩට...
අම්මයි තාත්තයි
වැටිලා ඉන්න පැලට
අපි ගෙනියන දෙයක් තමයි...
දෙයියනේ... කෑමට.
අනේ මහත්තයා
සත්තමයි,
බඩජාරි කමට නෙමෙයි.....

Saturday, April 17, 2010

රඟ මඩලෙහි ඉඩ තිබේ...


රඟ මඩලෙහි ඉඩ තිබේ
රඟන්න රැගුමක් ඇතිනම්
ඔබටත් අවසර තිබේ

ආඥාව පතුරුවන්න
සොදුරු අයෙක් පැමිණ සිටී
ඔබ වෙනුවෙන් මුමුණන අය
වේදිකාව දෙපස සිටී
පෙළක් තිබේ නම් ඔබ ලඟ
වේදිකාව බලා හිදී

ටිකට් විකිණිලා ඉවරයි
රසිකයො පොර කකා හිදී
පෙළක් තියේනම් ඔබ ළඟ
එන්න එන්න ඉක්මනටම

ටිකට් විකිණිලා ඉවරයි...
ටිකට් විකිණිලා ඉවරයි...
මොනවා හෝ කරළිය මත
පෙන්වන්නට සිදුව තිබේ...